මෑතකාලීන ආර්ථික අභියෝග සාර්ථකව ජයගත් ශ්‍රී ලංකාව, නව ස්ථාවරත්වයක් සමඟින් ජාත්‍යන්තර ආයෝජන සඳහා සම්පූර්ණයෙන්ම විවෘතව පවතින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. “ශ්‍රී ලංකා–වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය” අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ 2024 සහ 2025 වසරවලදී 5.0% ක දදේනි (GDP) වර්ධනයක් ලැබූ ශ්‍රී ලංකාව, 2026 වසරේදී ද 4.0% ක අඛණ්ඩ වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
වත්මන් දත්තවලට අනුව ශ්‍රී ලංකාව වියට්නාමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 238 ක භාණ්ඩ ආනයනය කළත්, අපනයනය කරන්නේ ඩොලර් මිලියන 40 ක භාණ්ඩ පමණි. මෙම 6 ගුණයක වෙළඳ පරතරය පියවීම සඳහා වියට්නාම ආයෝජකයින්ට මෙරට තේ, රබර්, ඇඟලුම් සහ මුහුදු ආහාර ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට විශාල අවස්ථාවක් පවතී.
ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ගයක පිහිටි කොළඹ වරාය, දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතාව සහිත දක්ෂ ශ්‍රම බලකාය සහ යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඉන්දියාව වැනි රටවල් සමඟ පවතින තීරු බදු රහිත වරණීය වෙළඳ ගිවිසුම් ශ්‍රී ලංකාව සතු ප්‍රධාන ශක්තීන් වේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ අඳුරු පිටුව පෙරළා අවසන් බැවින්, දකුණු ආසියානු කලාපයේ ව්‍යාපාර පුළුල් කිරීමට බලාපොරොත්තු වන වියට්නාම ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට මීට වඩා සුදුසු කාලයක් තවත් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.
















