වෙසක් පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බෝවන රෝග කිහිපයක් වාර්තා වන පසුබිමක, දන්සල් සංවිධායකයින් ආහාර පිළියෙළ කිරීමේදී සහ බෙදා හැරීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය බව ඔහු අවධාරණය කළේය. පොදු ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස සංවිධායකයින්ට දැනුම් දෙනු ලැබේ.
මේ අතර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා තොරණ, වෙසක් කළාප සහ පහන් කූඩු ප්‍රදර්ශන රැසක් සංවිධානය කර තිබේ. පෙර වසරවලට සාපේක්ෂව වෙසක් සැරසිලිවල මිල ගණන් ඉහළ ගිය ද, වෙළෙඳපොළ තුළ අලෙවියේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව වෙළෙඳුන් පවසයි.













