අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර, නිසි පරිදි අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ලබන ජූනි 9 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (28) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කරුණු කිහිපයක් අනාවරණය කළේය. චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියට තවත් කාන්තාවකගේ සහය ලැබී ඇති බවත්, ඇයගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් පැවසීය. සැකකාර ස්ථානාධිපතිවරයා අදාළ විදේශ ගමන් බලපත්‍ර නඩු භාණ්ඩ ලෙස නියමිත කාලයට අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර, පසුව නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇත්තේ අධිකරණය නොමඟ යවමිනි. ස්ථානාධිපතිවරයා දින 15කට පසුව කරුණු වාර්තා කිරීම හේතුවෙන් එම චීන ජාතිකයන් 19 දෙනාට පලා යාමට අවස්ථාව සැලසී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.
මෙම චෝදනා සම්බන්ධයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සඳහන් කළේ, සිය සේවාදායකයා දක්ෂ ලෙස රාජකාරි කළ අයෙකු බවත්, එම චීන ජාතිකයන්ගේ ගමන් බලපත්‍ර පොලිස් භාරයේ තිබූ බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ සහ විමර්ශන නිලධාරීන්ගේ ජංගම දුරකථන වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසත්, අදාළ චීන ජාතිකයන් 19 දෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කළේය. මීට අමතරව, සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කර මීළඟ දිනයේදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට දැනුම් දෙන ලදී.
















