පොදු මාර්ගයකට නීතිවිරෝධී ලෙස කසළ බැහැර කර, එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පිය-පුතු දෙපළක් මිරිහාන මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වාර්තා වූයේ පසුගිය 26 වන දින එපිටමුල්ල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ ලොරි රථයකින් කසළ බැහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මිරිහාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත ලැබීමත් සමඟය. රථයේ ලියාපදිංචි තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනයකදී, එම ලොරි රථය නුගේගොඩ, බැද්දගාන ප්‍රදේශයේ විද්‍යාලයක ක්‍රීඩා පිටියක් අසල නවතා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් විය.
පසුව එම ස්ථානයට කැඳවූ රියැදුරු (පියා) සහ පසුව පැමිණි ඔහුගේ පුත්‍රයා, පොලිස් නිලධාරීන්ගේ උපදෙස්වලට ප්‍රතිරෝධය දක්වමින් ඔවුන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීමට උත්සාහ කර ඇත.
පොලිස් නිලධාරීන් විසින් සැකකාර පිය-පුතු දෙපළ අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මිරිහාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















