කොලොම්බියා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින වාමාංශික ක්‍රියාකාරිකයෙකු සහ සෙනෙට් සභිකයෙකු වන අයිවන් සෙපේඩා (Ivan Cepeda), වත්මන් ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් ආරම්භ කරන ලද ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරන බවට ප්‍රතිඥා ලබා දී තිබේ. 63 හැවිරිදි වියේ පසුවන සෙපේඩා, මැයි 31 දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මත විමසුම්වල පෙරමුණ ගෙන සිටින අතර, එළඹෙන ජුනි 21 දින පැවැත්වීමට නියමිත දෙවන වටයේ ඡන්ද විමසීම ඔහුට තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සෙපේඩාගේ ප්‍රතිපත්ති අතර පෙට්‍රෝ රජය විසින් ආරම්භ කළ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ඇතුළු ආර්ථික වෙනස්කම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාම, රට තුළ පවතින ගැඹුරු සමාජ අසමානතා අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව අවධාරණය කිරීම, වාමාංශික ගරිල්ලා කණ්ඩායම් සහ අපරාධ කල්ලි සමඟ පවතින සාම සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කරමින් සාමය ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සමාජ සුභසාධන ප්‍රතිලාභ පුළුල් කිරීම ප්‍රධාන වේ.ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යාපාරික නායකයින් සහ මධ්‍යස්ථ දේශපාලන පක්ෂවලින් විවේචන එල්ල වුවද, තම ආධාරකරුවන් අමතමින් සෙපේඩා කියා සිටියේ ජනවරමකින් අන්ත දක්ෂිණාංශික දේශපාලන බලවේග පරාජය කරමින් තමන් ආරම්භ කළ කාර්යය නිම කරන ලෙසයි. දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායම් අතින් සිය පියා ඝාතනයට ලක්වීම සහ තමාගේ තරුණ විය පිටුවහල්ව ගත කිරීමට සිදුවීම වැනි කටුක අතීතයකට උරුමකම් කියන සෙපේඩා, කොලොම්බියාවේ දේශපාලන ඉතිහාසයේ සංකීර්ණ භූමිකාවක් නියෝජනය කරයි.
















