ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව අවසන් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 695ක ණය වාරිකයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය අද (28) හිමිවිය. මේ සමඟ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති සම්පූර්ණ මූල්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යයි.
ශ්‍රී ලංකා මහබැංකුව උද්ධමනය පාලනය කිරීමට සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව IMF සිය තෘප්තිය පළ කරයි. 2022 අර්බුදයේදී 60%-70% දක්වා ඉහළ ගිය උද්ධමනය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බවත්, මෑතකදී දක්නට ලැබුණු තාවකාලික උද්ධමන ඉහළ යාම මුදල් මුද්‍රණය කිරීම නිසා නොව මැදපෙරදිග අර්බුදයේ බලපෑම නිසා සිදු වූවක් බවත් ඔහු සඳහන් කළේය. මහබැංකුව අයවැය පරතරය පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමෙන් වැළකී සිටීම සහ විනිමය අනුපාත ඉහළ නම්‍යශීලීතාවක් පවත්වා ගනිමින් විදේශ සංචිත ගොඩනැංවීමට දායක වීම ඉතා වැදගත් බවත් ඔහු පැවසීය.
ඉන්ධන සඳහා දැනට ක්‍රියාත්මක රුපියල් බිලියන 100ක තාවකාලික සහනාධාර පැකේජය පිළිබඳව රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බව පැපජෝජියෝ මහතා පැවසීය. මෙය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත තාවකාලික ක්‍රියාමාර්ගයක් බවත්, සහනාධාර භාවිතය මත එය ඊට පෙර වුවද අවසන් විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.















