ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති සුමිත් දසනායක මහතා වතිකානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගන්වා තිබේ. මෙම නිල උත්සවය වතිකානු පුරවරයේ අපෝස්තලික මාලිගයේදී පැවැත්විණි.
අවි ආයුධ මඟින් බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන වර්තමාන ලෝකයට, සංවාදය සහ සම්මුතිය ප්‍රවර්ධනය කරන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල හදිසි අවශ්‍යතාවක් පවතින බව ශුද්ධෝත්තම පාප් වහන්සේ අවධාරණය කළහ. රටවල් සහ වතිකානය අතර විශ්වාසයේ සහ සහයෝගිතාවයේ වැදගත් පාලමක් ලෙස තානාපතිවරුන්ගේ සේවය පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ. යුක්තිසහගත සහ සාමකාමී ලෝකයක් උදෙසා සමාජයේ කොන්වී සිටින ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධාරණය කෙරිණි. තානාපති සුමිත් දසනායක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුභාශිංසන පාප් වහන්සේ වෙත පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් යාඥා කරන ලෙස ඉල්ලා සිටියේය. 2027 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිවරයා පාප් වහන්සේ වෙත කර ඇති ආරාධනය ද තානාපතිවරයා විසින් යළි සිහිපත් කරන ලදී.
















