අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා අද (29) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
‘අස්වැසුම’ පළමු සහ දෙවැනි අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් වෙනුවෙන් රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (3,493,915,000.00) මුදලක් රජය විසින් නිදහස් කර තිබේ. අදියර අනුව දීමනා වෙන් කර ඇති ආකාරය පහත දැක්වේ.
පළමු අදියර යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 625,128 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3,125,600,000.00 ක මුදලක් වෙන් කර ඇත. දෙවන අදියර යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 73,663 දෙනෙකු වෙනුවෙන් රුපියල් 368,315,000.00 ක මුදලක් වෙන් කර තිබේ. අදාළ සියලුම ප්‍රතිලාභීන්ට තමන්ට හිමි වැඩිහිටි දීමනාව හෙට සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.
















