ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කළ ‘ශ්‍රී ලංකා-ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටලයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත මණ්ඩලය (AHK Sri Lanka) සහ කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ සහයෝගයෙන් දින තුනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ මූලික අරමුණ වන්නේ සමුද්‍රීය සහ සැපයුම් දාම ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව විදේශීය ආයෝජන සඳහා වඩාත් ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.
සමුළුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ශ්‍රී ලංකාව යනු කලාපීය සහයෝගීතාවයට සහ ජාත්‍යන්තර සබඳතාවන්ට කැපවූ, විවෘත හා විශ්වාසනීය හවුල්කරුවෙකු බවයි. සංචාරක, වෙළඳ, ආයෝජන, තාක්ෂණ හුවමාරු සහ සංවර්ධන සහයෝගීතාවය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය අතිශය වැදගත් බවත්, වෘත්තීය අධ්‍යාපනය, පුහුණුව, පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික පරිවර්තනය සඳහා ජර්මනිය ලබාදෙන දායකත්වය ඇය විශේෂයෙන් ඇගයීමට ලක් කළාය.
ශ්‍රී ලංකාව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තරගකාරි ආර්ථික ආකෘතියක් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරතව සිටින බවත්, රජය මූල්‍ය ඒකාබද්ධතාවය, ව්‍යුහාත්මක ගැලපීම් සහ යහආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන අතරම, එම ක්‍රියාවලියේදී කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් කෙරෙහි ඇතිවිය හැකි සමාජ බලපෑම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් ඇය ප්‍රකාශ කළාය. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම, නිපුණ ශ්‍රම බලකාය සහ වැඩිදියුණු වෙමින් පවතින ආයෝජන පරිසරය තුළින් ජර්මානු ව්‍යාපාරික ප්‍රජාවට ශ්‍රී ලංකාව සමඟ නව හවුල්කාරිත්වයන් ඇති කරගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය ඇරයුම් කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්, AHK ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන නියෝජිත මාර්ටින් ක්ලෝස් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව සිටියහ.
















