මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ගලගෙදර බඹරගහ හන්දියෙන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙම අදියර ක්‍රියාත්මක වන්නේ රඹුක්කන සිට ගලගෙදර දක්වායි. මෙහිදී කිලෝමීටර් 19 ක දුරක් ඉදිකෙරෙන බව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති භාර ඉංජිනේරු එස්.බි විජේකෝන් මහතා සඳහන් කරයි. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112 ක් පමණ වන බව වාර්තා වේ. මෙම ඉදිකිරීම් සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරගකාරී ප්‍රසම්පාදනය හරහා කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවී තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. මෙම ආරම්භක උත්සවය සඳහා අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ද එක්වීමට නියමිතය.
















