වෙසක් උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසන්නේ වෙසක් සතිය තුළ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
ශ්‍රී ලංකා පොලීසිය රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් මේ වන විට සූදානම් කර ඇත. සෑම පූජනීය ස්ථානයකම, විශේෂයෙන් දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව මහජන ආරක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබේ. අපරික්ෂාකාරී, අනතුරුදායක හෝ පීඩාකාරී ලෙස ධාවනය වන යම් වාහනයක්, යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා 070-4755600 දරන WhatsApp අංකයට හෝ 119 සහ 188 යන දුරකථන අංක වෙත සම්බන්ධ වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















