ශ්‍රී ලංකාව තුළ විදුලිය සහ ඉන්ධන මිල නියම කිරීමේදී, ඒවා නිෂ්පාදනය කිරීමට හා සැපයීමට වැය වන සැබෑ පිරිවැය වහාම නිරූපණය වන පරිදි මිල සූත්‍ර සක්‍රිය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය නවතම කාර්ය මණ්ඩල වාර්තාව මඟින් අවධාරණය කර ඇත. මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා වැය වන සැබෑ වියදම පාරිභෝගික ගාස්තු මඟින් නැවත අයකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට ජනවාරි මාසයේ සිට පියවර ගත යුතුව තිබූ බවයි.
මෙම මිල සූත්‍ර හරහා පිරිවැය ආවරණය වන පරිදි මිල තීරණය කිරීමේ (Cost-reflective pricing) ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටී. IMF විසින් පෙන්වා දී ඇත්තේ විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතනවල මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙය අත්‍යවශ්‍ය කොන්දේසියක් බවයි.
වත්මන් තත්ත්වය අනුව ඉන්ධන සඳහා මාසික මිල සූත්‍රයක් සහ විදුලි ගාස්තු සඳහා කාර්තුමය මිල සූත්‍රයක් මගින් පිරිවැය ආවරණය කිරීමට කටයුතු යොදා ඇත. මැයි මාසය සඳහා වන ඉන්ධන මිල පිරිවැය ආවරණය වන පරිදි පවතින බව IMF සඳහන් කරන අතර, විදුලි ගාස්තු සංශෝධනය කිරීම හරහාද අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමට පියවර ගෙන ඇත.
අනාගතයේදී මිල තීරණය වීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයන් සහ විදුලි නිෂ්පාදන පිරිවැයේ සිදුවන වෙනස්කම් මතයි. නිෂ්පාදන පිරිවැය ඉහළ ගියහොත් මිල සූත්‍ර අනුව මිල ඉහළ දැමීමක් හෝ නිෂ්පාදන පිරිවැය අඩු වුවහොත් මිල අඩු කිරීමක් සිදුවිය හැකිය. කෙසේ වෙතත්, වත්මන් මිල සූත්‍රවල නම්‍යශීලීභාවය යටතේ රජයට යම් මට්ටමක සහනාධාර පරතරයක් පවත්වා ගැනීමට අවසර ලබා දී ඇත.
















