ඉරානය සමඟ ඇති කරගත හැකි විභව ගිවිසුමක් හෝ එකඟතාවක් සම්බන්ධයෙන් “අවසන් තීරණයකට” එළඹීම සඳහා තමන් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරිය (Situation Room) වෙත යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. අදාළ එකඟතාව සිදුවීමට නම් ටෙහෙරානය විසින් ප්‍රධාන කොන්දේසි ද්විත්වයකට එකඟ විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ඒ අනුව, ඉරානය කිසිලෙසකත් “න්‍යෂ්ටික අවියක් හෝ බෝම්බයක් ළඟ තබා නොගැනීමට” එකඟ විය යුතු අතර, අනාරක්ෂිත භාවයට පත්ව ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සීමාවන්ගෙන් තොර නැව් ගමනාගමනය සඳහා වහාම විවෘත කළ යුතු බව ඔහු සඳහන් කර ඇත. මෙම විභව එකඟතාවයේ කොටසක් ලෙස, ඉරානය සතු සෙසු බලගැන්වූ න්‍යෂ්ටික ද්‍රව්‍ය (Enriched Nuclear Material) පොළොවෙන් මතුපිටට ගෙන විනාශ කිරීමට නියමිත බව ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙම විනාශ කිරීමේ ක්‍රියාවලිය අමෙරිකා එක්සත් ජනපදය විසින්, ඉරාන රජයේ සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) සෘජු සම්බන්ධීකරණය හා දායකත්වය ඇතිව සිදු කිරීමට සැලසුම් කර ඇත.















