සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම, සංහිඳියාවේ සැබෑ සංකේතයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවුඩය මගින් ප්‍රකාශ කරයි. බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවුඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීම බව ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් අවධාරණය කරයි.
පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අද වන විට ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වන බවත්, බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීමට ප්‍රථම පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම උගන්වන බවත් ඔහු පෙන්වා දෙයි.
පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වූ වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ ද මෙම සාමයේ සහ සංහිඳියාවේ පණිවුඩය බව තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යය වන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණු පෙන්වා දී තිබේ.
















