මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ කොළඹ පාසල් කිහිපයක බැති ගී කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම බැති ගී වැඩසටහන පැවැත්වෙන අතර, ජූනි 02 දක්වා සෑම දිනකම ප.ව 6.30ට එම ප්‍රසංගය පැවැත්වේ.
එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල ඊයේ (30) රාත්‍රී 7.00ට ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරිණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම දන්සල සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි දස දහසකට අධික ජනතාවක් එක්ව සිටි අතර එය ජූනි 02 දක්වා පැවැත්වේ. මීට අමතරව, වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක්ද ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ විය.හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබුණි. ලේකම් කාර්යාලය සහ අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.














