කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍යතා මුල් අවධියේදීම හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර (Mammography Machines) 05 ක් දිවයිනේ ප්‍රධාන රෝහල් 05 ක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා mඟ පෙන්වීම යටතේ මෙම පියවර ගෙන ඇත. මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 ක් වන අතර, උපකරණවල සමස්ත මුළු වටිනාකම රුපියල් මිලියන 765 කි. සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා තිබේ.
ඒ අනුව, මෙම නව මැමෝග්‍රැෆි යන්ත්‍ර කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල යන පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් පහ වෙත ලබාදීමට නියමිතව ඇත. මීට අමතරව, පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් දෙක සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
දැනට දිවයින පුරා රෝහල්වල මැමෝග්‍රැෆි යන්ත්‍ර 16 ක් සක්‍රීය සේවයේ යොදවා ඇති අතර, මෙම නව යන්ත්‍ර ද එක්වීමත් සමඟ මෙරට සක්‍රීය මැමෝග්‍රැෆි යන්ත්‍ර සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනු ඇත.
















