පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මුවාවී පළාත් සභා මැතිවරණය කල් දමමින්, අතුරුදහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම වහාම පැවැත්වීමට රජය පියවර ගත යුතු යැයි ආණ්ඩුකාරවරුන්ගේ සංසදය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. මහජන නියෝජිතයින් නොමැතිව ආණ්ඩුකාර පාලනය යටතේ පළාත් සභා පවත්වාගෙන යාම හේතුවෙන් පළාත් පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව එම සංසදය පෙන්වා දෙයි. 2017 සිට 2019 දක්වා කාලය තුළ අවස්ථා ගණනාවකදී පළාත් සභිකයින්ගේ නිල කාලය අවසන් වී ඇති බැවින් දැනට ක්‍රියාත්මක වන්නේ මහජන නියෝජිතයින් නොමැති සභා බව ඔවුහු සිහිපත් කරති.
මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් පළාත් සභාවල දෛනික කටයුතුවලට මැදිහත් වීම නිසා තනි පක්ෂ ක්‍රමයක පාලනයක් බිහිවී ඇති බවත්, පළාත් සභා විධායකයේ අත්තනෝමතික මෙහෙයවීමට නතුවී ඇති බවත් නිවේදනයේ සඳහන් වේ. තවද, රාජ්‍ය සේවයේ කිසිදු තනතුරක් නොදරන, පක්ෂ ලේකම්වරයෙකු පමණක් වන ටිල්වීන් සිල්වා මහතා පළාත් සභා ඡන්දය මේ වසරේ නොපැවැත්වෙන බව යාපනයේදී ප්‍රකාශ කර ඇති බව පවසන ආණ්ඩුකාරවරුන්ගේ සංසදය, කිසිදු පක්ෂ ලේකම්වරයෙකුට පළාත් සභාවල අනාගතය තීරණය කිරීමට බලයක් නොමැති බව අවධාරණය කරයි. ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සියල්ලම පාහේ පැරණි දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය යටතේ ඊළඟ ඡන්දය පැවැත්වීමට විරුද්ධ නොවන බැවින්, 2017 අංක 17 දරන පනත වාක්‍ය දෙකකින් සංශෝධනය කර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට රජයට හැකියාව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ වයඹ පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඡන්ද කල් දැමිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවත්, ඡන්දය නිසි කලට නොපැවැත්වීම හිමිකම් උල්ලංඝනයක් බව පළාත් පාලන ඡන්ද තීන්දුවෙන් ද තහවුරු වී ඇති බවත් එහි දක්වා ඇත. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ගරු කරමින් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වන ලෙස සෙන්දිල් තොන්ඩමන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ශාන් විජයලාල් ද සිල්වා, ටිකිරි කොබ්බෑකඩුව, අසාත් සාලි, සුරේන් රාඝවන්, ලලිත් යූ. ගමගේ, මෛත්‍රී ගුණරත්න, සරත් ඒකනායක, පේෂල ජයරත්න, අනුර විදානගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුකාරවරුන්ගේ සංසදය ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.
















