කළුතර දිසා වන නිලධාරි කාර්යාලයේ රාත්‍රී සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිනියාවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 51 හැවිරිදි වියේ පසුවන පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉකුත් 29 වැනිදා රාත්‍රී 10.30 ට පමණ මොහු දිසා වන කාර්යාලයේ සේවයේ යෙදෙමින් සිටි ආරක්ෂක නිලධාරියාට ගල් මුල්වලින් පහරදී තුවාල කළ බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එච්.ඒ. රත්නපාල යන අය 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මීට පෙරද අවස්ථා කීපයකදීම සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර දිසා වන කාර්යාලයීය නිලධාරීන් සමග ආරාවුල් ඇති කරගෙන ඇති අතර එම පැමිණිලි පොලිසියේදී සමථ කරගෙන ඇති බව පොලිසිය පවසයි. කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
















