පසුගිය කාලයේ සිදුවූ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව), ඒ පිළිබඳව කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්අඟුරු ගනුදෙනුවලට අදාළව යම් මඟහැරුණු කොටස් තිබේ නම් ඒවා සොයා බලා ජනාධිපති කොමිෂන් සභාවට බාරදීමට කටයුතු කරන බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.
මේ අතර, කෝප් කමිටුව මඟින් සිදුකරන ලද මෙම විමර්ශනයේ අවසන් වාර්තාව බොහෝ දුරට ලබන මාසයේදී පාර්ලිමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා සඳහන් කළේය. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් ද මේ වන විටත් ජනාධිපති කොමිසම වෙත තොරතුරු වාර්තා බාරදී තිබේ.
පසුගිය 2009 වසරේ සිට සිදුවූ ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විශේෂ කොමිෂන් සභාව පත් කරනු ලැබීය. කොමිසම විසින් මේ වන විටත් පුද්ගලයන් දහයකට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා රේගුවේ හිටපු ප්‍රධානීන් කිහිපදෙනෙකු, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් ද ඇතුළත් වෙති.
















