පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට දැඩි බලපෑමක් එල්ල කළ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ස්වේච්ඡාවෙන් කැපවූ තරුණ ස්වේච්ඡා නායකයින් 35 දෙනෙකු ඇගයීම වෙනුවෙන් සහතිකපත් ප්‍රදානෝත්සවයක් පසුගියදා ගාල්ල SED ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය (CEYSD) විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
දකුණු පළාත් සභාවේ ලේකම් මහේෂ් කරුණාරත්න මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් පෙන්වා දුන්නේ ව්‍යසන ඉක්මනින් අමතක කිරීම අපේ රටේ මිනිසුන්ගේ ඇති ලොකුම දුර්වලතාවක් බවයි. එම අමතක කිරීම නිසාම මීළඟ ව්‍යසනයට මුහුණ දීමට නිසි ලෙස සූදානම් වීමට අප අපොහොසත් වන බවත්, සුනාමි ව්‍යසනයෙන් උගත් පාඩම් අමතක කිරීම මීළඟ ආපදාවට පාර කැපීමක් බවත් හෙතෙම අවධාරණය කළේය.
සුනාමි ව්‍යසනයෙන් පසු ලැබුණු ආධාර යටතේ ඉදිකළ නිවාස ව්‍යාපෘති බොහොමයක් අද වන විට නීතිමය හා පරිපාලන ගැටලු රාශියකට මුහුණ දී ඇති බවත්, ඇතැම් නිවාස මුල් ප්‍රතිලාභියා අතින් ගිලිහී 12 වැනි හෝ 13 වැනි අයිතිකරුවන් අතට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සිහිපත් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ස්වාභාවික තත්ත්වයන් පමණක් නිසා සිදු වූවක් නොවන බවත්, පරිසරයට සිදු කරන ලද හානි සහ අවිධිමත් මානව ක්‍රියාකාරකම් ඊට විශාල වශයෙන් බලපෑ බවත් හෙතෙම කියා සිටියේය. එබැවින් පරිසර විනාශයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවත්, ආපදා වළක්වා ගැනීමට රජය, ආයතන සහ ජනතාව සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් කරුණාරත්න මහතා සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ, වාරියගොල්ල සහ දෙල්තොට ප්‍රදේශවල නිවාස හා පාසල් පිරිසුදු කිරීම, ජලනළ පද්ධති අලුත්වැඩියා කිරීම ඇතුළු පුනරුත්ථාපන කටයුතු රැසකට මෙම තරුණ ස්වේච්ඡා නායකයින් දායක වී තිබේ. ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහයෝගය දැක්වූ මෙම පිරිස වෙත සිය කෘතඥතාව පළ කරන බවද ලේකම්වරයා පැවසීය.
මෙම අවස්ථාව සඳහා ඉඩම් සමථකරණ මණ්ඩලයේ සභාපති අනුර ගමගේ මහතා සහ නීතිඥ තුෂාණි කන්දිල්පාන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූ අතර, තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මොහොමඩ් නස්රීන් මහතා සහ කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
















