මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් 2025 – 2029 දක්වා වූ වත්මන් රජයේ මුල් වසර පහ තුළ හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද ලබා දෙන පත්වීම් සමඟ එම ඉලක්කයෙන් 30%ක් සම්පූර්ණ වී ඇති බවත්, ලබන ඔක්තෝබර් මාසයේ ලබා දීමට නියමිත හෙද පත්වීම් 2,867ක් සමඟ එම ඉලක්කයෙන් 50%ක් සම්පූර්ණ වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැති උත්සවයකදීය. එහිදී විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනකු වෙත හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කෙරිණි. III ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස බඳවා ගන්නා ලද මෙම පිරිස රජයේ විශ්වවිද්‍යාල මඟින් විද්‍යාවේදී ගෞරව හෙද උපාධිය සම්පූර්ණ කර ඇති අතර, දිවයින පුරා රජයේ රෝහල් 31කදී සය මාසික අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා ඇත.
මධ්‍යම රජය යටතේ පාලනය වන ජාතික රෝහල්, ශික්ෂණ රෝහල් සහ දිස්ත්‍රික් මහ රෝහල්වල පවතින පුරප්පාඩු සහ සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. පසුගිය වසරේ හෙද විදුහල්වලින් පුහුණුව අවසන් කළ 3,441 දෙනකුට පත්වීම් ලබා දුන් අතර, අද දින පත්වීම් ලැබූ 515 දෙනාද සමඟ ගෙවුණු වසරක කාලය තුළ සේවාවට ඇතුළත් කර ගත් මුළු සංඛ්‍යාව 3,956ක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එළඹෙන ඔක්තෝබර් මාසයේදී තවත් 2,867 දෙනකු බඳවා ගන්නා අතර, ඒ අනුව 2025 සහ 2026 යන වර්ෂවලදී අලුතින් හෙද සේවාවට 6,823ක් එක් වනු ඇත. මීට අමතරව 2028 වර්ෂයේදී 1,949ක කණ්ඩායමක් සහ 2029 වර්ෂයේ මැද භාගයේදී 2,920ක කණ්ඩායමක් පත්වීම් ලබා ගැනීමට නියමිතය. හෙද විදුහල් සහ විශ්වවිද්‍යාල හරහා ක්‍රමානුකූලව මෙම බඳවා ගැනීම් සිදුකර අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ, හෙද සේවාව මෙරට අද්විතීය සහ දැඩි විනයක් සහිත සේවාවක් බවයි. විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදී වන අතර, වසර පහකට පසු මෙලෙස බඳවා ගැනීම් සිදු කිරීම සුවිශේෂී කරුණක් බවද වාර්තා වේ.
















