ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) තීරණාත්මක හමුව අද (1) පස්වරු 1.30ට කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙම ක්‍රීඩක කෙටුම්පත සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 179ක් සහ විදේශීය ක්‍රීඩකයන් 242ක් වශයෙන් සමස්ත ක්‍රීඩකයන් 421ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් ප්ලැටිනම්, රන්, ක්ලැසික් හා නැඟී එන තරු ලෙස කාණ්ඩගත කර ඇත.
මෙම තරගාවලියට සහභාගි වන විදෙස් ක්‍රිකට් තරු අතර දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමා වඩාත් ආකර්ෂණීය ක්‍රීඩකයකු බවට පත්ව ඇති අතර, ඔහු විශාල මුදලකට අලෙවි වනු ඇතැයි විශ්වාස කෙරේ. 36 හැවිරිදි වියෙහි පසුවන බවුමා ටෙස්ට් තරග 66ක්, එක්දින තරග 55ක් හා විස්සයි20 තරග 36ක් දකුණු අප්‍රිකාව නියෝජනය කර තිබේ.
කෙටුම්පත් කිරීමට පෙර කණ්ඩායම් විසින් දැනටමත් ඍජුව මිලදී ගත් විදේශීය ක්‍රීඩකයන් පිළිබඳව නිවේදනය කර ඇත. ඒ අනුව කොළඹ කැප්ස් පිල නවසීලන්තයේ ජිමී නිෂාම් හා ඔස්ට්‍රේලියාවේ බෙන් මැක්ඩර්මොට් මිලදී ගෙන ඇති අතර, දඹුල්ල සික්සර්ස් පිල පාකිස්තානයේ සහිබ්සාඩා ෆර්හාන් හා දකුණු අප්‍රිකාවේ රීසා හෙන්ඩ්‍රික්ස් මිලදී ගෙන ඇත. ගෝල් ගැලන්ට්ස් පිල දකුණු අප්‍රිකාවේ රසී වොන් ඩර් ඩුසන් හා සිම්බාබ්වේහි සිකන්දර් රාසා මිලදී ගෙන ඇති අතර, ජැෆ්නා කිංග්ස් පිල බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් හා ටස්කින් අහමඩ් මිලදී ගෙන ඇත. කැන්ඩි රෝයල්ස් පිල එංගලන්තයේ මොයින් අලි හා ඉන්දියාවේ විජේ ශංකර් මිලදී ගෙන තිබේ.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට සියලු ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හිමිකරුවන්, කළමනාකරුවන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන් එක්වීමට නියමිතය.
















