හොංකොංහි පැවැත්වෙන 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබේ. සුපිරි යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා පේමසිරි ඊයේ (31) පස්වරුවේ පැවැති කාන්තා මීටර 800 ඉසව්ව තත්පර 2:07.10 කින් නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මෙම ඉසව්වේ රන් පදක්කම ජපානයේ සසාකි හැනොන් විසින් දිනාගත් අතර, රිදී පදක්කම චීනයේ ඩෙං යූ විසින් දිනාගනු ලැබීය.
මෙම ලෝකඩ පදක්කමත් සමඟ තරුෂි අභිෂේකා මෙම තරගාවලියේදී තමන් දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ නංවා ගත්තේය. මීට පෙර ඇය මෙම තරගාවලියේදීම කාන්තා මීටර 1500 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමටද සමත් විය. මේ අතර, මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදීම පිරිමි මීටර 800 ඉසව්ව තත්පර 1:49.22 කින් නිමා කළ මෙරට යොවුන් ක්‍රීඩක නෙත්සර දිනෙත් ලියනගේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙමින් තවත් අභිමානයක් එක් කළේය.
















