ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වන වාර්ෂික සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (ජුනි 01) ආරම්භ විය. ජුනි 12 වන දින දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු රජයේ, සේවායෝජකයන්ගේ සහ කම්කරු නියෝජිතයන්ගෙන් සමන්විත ත්‍රෛපාර්ශ්වික දූත පිරිසක් සහභාගී වේ.
“සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින්, යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර, එය ලෝකයේ කම්කරු ප්‍රතිපත්ති සහ ගැටලු සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම ජාත්‍යන්තර වේදිකාව ලෙස සැලකේ. සාමාජික රටවල් 187ක නියෝජිතයන් සහභාගී වන මෙම සමුළුවේදී ප්‍රධාන වශයෙන් ඩිජිටල් සහ වේදිකා ආර්ථිකය (Platform Economy) තුළ යහපත් රැකියා ප්‍රවර්ධනය, සේවා ස්ථානවල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, සමාජ සංවාදය ශක්තිමත් කිරීම සහ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.
මෙම සමුළුවට සහභාගී වීම මගින් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ගෝලීය වශයෙන් මතුවන නව අභියෝග පිළිබඳ සංවාද සඳහා දායක වීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවේ. එසේම, සාධාරණ සේවා කොන්දේසි සහ තිරසර ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට මෙය වැදගත් වේදිකාවක් වනු ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.















