එදා රජ දවසේ පාලකයන් ජනතාව අත්නොහැරිය ආකාරයටම, මෙම අසීරු අවස්ථාවේදී ද ජනතාව අත්නොහැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඇළහැර රඳ්විගේඔය, ජඹුරවෙල ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කිරීමට යෝජිත චෛත්‍යරාජයාණන් වහන්සේගේ මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අද වන විට ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත්, ඔවුන් ලබාගත් අස්වැන්න ඉහළ ස්ථාවර මිලකට අලෙවි කරගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. බීජ, පොහොර සහ කෘමිනාශක මිල ඉහළ යාම, වන සත්ත්ව ගැටලු සහ ඉඩෝරය වැනි සාධක මධ්‍යයේ, ගොවීන් නිෂ්පාදනය කරන අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති වීම නිසා ඔවුන් බරපතළ විෂම චක්‍රයකට මුහුණ දී සිටින බව ඒ මහතා පැවසීය. එදා මැතිවරණ සමයේ වී සඳහා රු. 150ක ස්ථාවර මිලක් නීතිගත කරන බව පැවසුවද, අද වන විට පොහොර හිඟය සහ කළු කඩ වෙළෙඳාම බහුල වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගොවිතැන පාඩු ලබන දෙයක් ලෙස මතයක් ගොඩනැගීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළද, නවීන තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිෂ්පාදනය ඉහළ දැමීම හරහා ගොවිතැන ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කළ හැකි බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. තවද, මෙම චෛත්‍යය ඉදි කිරීම ‘වැවයි දාගැබයි – ගමයි පන්සලයි’ සංකල්පය තහවුරු කිරීමක් බවත්, ඉන් රටට සාමය, සමෘද්ධිය සහ සෞභාග්‍යය උදා වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
















