ග්‍රාමීය ජනතාවගේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පූජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති 1000ක් හෙට (02) ආරම්භ කිරීමට නියමිතය. නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි සෘජුවම දායක වන මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන්කර ඇති අතර, එම ප්‍රතිපාදන සියලු දිස්ත්‍රික්ක වෙත දැනටමත් නිදහස් කර අවසන්ය.
මෙම වැඩසටහනේ ප්‍රධාන සමාරම්භක උත්සවය හෙට පෙරවරු 9.00ට ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්පිටිය ප්‍රදේශයේදී පැවැත්වේ. මීට සමගාමීව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එක් කොට්ඨාසයක අවම වශයෙන් ව්‍යාපෘති 3ත් 5ත් අතර සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ සහායක ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සහ ජීවන මට්ටම ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අපේක්ෂාවයි.
















