2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අංක 35882/24 දරන නඩුවේ තුන්වන සැකකරු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ නම් කර තිබේ. මෙම නීතිමය පියවරත් සමඟ මේ වනවිට සමාජය තුළ විශාල ආන්දෝලනයක් මතුව ඇති අතර, මෙම පසුබිම තුළ ඔහුගේ බිරිය වන එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිය ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් මතුව ඇති චෝදනා සහ නීතිමය තත්ත්වය පිළිබඳව තම අදහස් ඉදිරිපත් කර ඇත.
සිය ස්වාමිපුරුෂයා අදාළ ප්‍රහාරයට සම්බන්ධ බවට කරනු ලබන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඇය, මෙම නඩුවට ඔහු සැකකරුවෙකු ලෙස නම් කිරීම පිටුපස පවතින පසුබිම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සඳහන් වේ. මෙම සිදුවීමත් සමඟ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියෙකු සහ හමුදා නිලධාරියෙකු පාස්කු නඩුවක සැකකරුවෙකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් දේශපාලන සහ සිවිල් සමාජය තුළ විවිධ මතවාද හුවමාරු වෙමින් පවතී.
















