ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක ජාතික පරිසර සතියේ තෙවැනි දිනය වන අද (01) දිනය “දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම් අවම කිරීමේ ප්‍රවර්ධන දිනය” ලෙස නම් කර තිබේ. ගෝලීය උණුසුම ඉහළ යාම, අකාලයේ ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ දැඩි නියඟ තත්ත්වයන් වැනි අසාමාන්‍ය කාලගුණික වෙනස්කම් පිළිබඳව පරිසරවේදීන් අනතුරු අඟවා සිටින පසුබිමක මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.
මෙම දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් දේශගුණික විපර්යාස හා වායු දූෂණයේ බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබේ. ඒ හරහා රාජ්‍ය ආයතන හරිතකරණය කිරීමේ අරමුණින් පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, අනවශ්‍ය බලශක්ති හා කඩදාසි පරිභෝජනය සීමා කර ඩිජිටල් ක්‍රමවේද වෙත මාරුවීමටත් අදාළ නව චක්‍රලේඛ උපදෙස් මාලාවක් ද ක්‍රියාත්මක වේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් “නිසි අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වෙමු” යන තේමාව යටතේ කෙටි වීඩියෝ තරගාවලියක් අද දිනයේ සිට නිල වශයෙන් ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව, හෙටට යෙදෙන ජෛව විවිධත්ව දිනය ඉලක්ක කරගනිමින් දියවන්නා ඔය සංරක්ෂණය සඳහා විශේෂ වැඩසටහනක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමේ පියවර ද අද ක්‍රියාත්මක කෙරේ.
දේශගුණික විපර්යාස හා වායු දූෂණයේ බලපෑම් අවම කිරීම සඳහා වායු දූෂණය පාලනය කිරීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, අනවශ්‍ය ඉන්ධන දහනයෙන් වැළකීම සහ බලශක්ති පරිභෝජනය අවම කිරීම වැනි පරිසර හිතකාමී ක්‍රියාමාර්ගවලට යොමුවන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. “දේශගුණ විපර්යාස සඳහා අදම ක්‍රියාකරමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන් මගින් පෘථිවිය සුරැකීම සඳහා පුද්ගලික හා සමාජීය වගකීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ.
















