ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සති අන්තයේදී නැවතත් ගුවන් ප්‍රහාර හුවමාරු වී ඇති අතර, දෙපාර්ශවයම හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර ඇත. ඉරානයේ ගොරූක් සහ කෙෂ්ම් දූපතේ පිහිටි ඉරාන රේඩාර් සහ ඩ්‍රෝන යානා පාලන මධ්‍යස්ථාන වෙත තමන් “ආත්මාරක්ෂක ප්‍රහාර” එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම විධානය (Centcom) සඳහන් කරයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදා භාවිතා කරන ගුවන් කඳවුරක් ඉලක්ක කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළද, එම කඳවුර පිහිටි ස්ථානය සඳහන් කර නැත.
ජාත්‍යන්තර මුහුදු සීමාවට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු MQ-1 ඩ්‍රෝන යානයක් බිම හෙළීම ඇතුළු ඉරානයේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසයි. ඇමරිකානු ප්‍රහාර මගින් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, බිම් මට්ටමේ පාලන මධ්‍යස්ථානයක් සහ ඩ්‍රෝන යානා දෙකක් ඉලක්ක කළ බව Centcom වැඩිදුරටත් පවසන අතර, මෙම ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා සාමාජිකයින්ට හානියක් සිදුවී නොමැති බවද වාර්තා වේ. මීට අමතරව, කුවේට් හමුදාව තම ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට මුහුණ දෙන බව වාර්තා කළද, ප්‍රහාර එල්ලවන නිශ්චිත ස්ථානය ප්‍රකාශ කර නොමැත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාම ගිවිසුමක කොන්දේසිවල සංශෝධන ඉල්ලා ඇති අතර, දැනට පවතින ගැටුම් නිරාකරණය කර ගැනීමට හෝ දේශපාලනික එකඟතාවයකට පැමිණීමට මෙතෙක් හැකියාව ලැබී නොමැත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ බොරතෙල් සහ ද්‍රව ස්වභාවික ගෑස් (LNG) ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ සිදු කෙරෙන බැවින්, පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතී.
















