ඉන්දියාවේ චෙන්නායි, කොයිම්බෙඩු ප්‍රදේශයේදී බාර් එකක් තුළ ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පසුව සිදුවූ රිය අනතුරකින් 18 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ සරණාගත තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මැයි මස 31 වන දින අලුයම් කාලයේ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
මියගොස් ඇත්තේ යැන්සි නම් තරුණියකි. ඇය යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකරුවන් පිරිසක් පැමිණි මෝටර් රථයකින් හිතාමතාම යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් ඇය බරපතල හිසේ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඇය සමඟ යතුරුපැදියේ ගමන් කළ 17 හැවිරිදි තවත් දැරියක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සෙනසුරාදා රාත්‍රියේ කොයිම්බෙඩු ප්‍රදේශයේ බාර් එකක් තුළ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මෙම ඛේදවාචකයට මූලික වී ඇති බවයි. ආරක්ෂක අංශ මැදිහත්වී දෙපිරිසම බාර් එකෙන් ඉවත් කළ ද, වීදියේදී එම ගැටුම නැවතත් උග්‍ර වී තිබේ. එහිදී මියගිය යුවතියගේ මිතුරන් පිරිසක් යතුරුපැදිවලින් පැමිණ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ගමන් ගත් මෝටර් රථයකට ගල් ප්‍රහාර එල්ල කර ඇත.
පසුව පළිගැනීමේ අරමුණින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ සුමන් ශක්තිවේල් නම් පුද්ගලයා සිය මෝටර් රථය යතුරුපැදිවල ගැටීමෙන් මෙම අනතුර සිදුකර ඇති බව හෙළිවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බාලකුමාර් හෙවත් බාලගුරු නම් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ රථය පැදවූයේ සුමන් ශක්තිවේල් බවයි. කොයිම්බෙඩු පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















