බුත්තල පොලිස් වසමට අයත් වැකඩ – යටියල්ලාතොට මාර්ගයේ මුංකොටුව ප්‍රදේශයේදී ඊයේ (31) සවස සිදුවූ දරුණු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ගෝනගංගාර පොලිසියේ සේවය කරන පොලිස් සැරයන් එච්.එම්. ගාමිණී ජයසේකර (54) මහතා සිය රාජකාරි නිමවා නිවස බලා යමින් සිටියදී, ඉදිරියෙන් අධික වේගයෙන් පැමිණි තවත් යතුරුපැදියක් ඔහුගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. තිදරු පියෙකු වන ඒ මහතා ඌව පැල්වත්ත, උඩඅරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට ලක්වූ අනෙක් යතුරුපැදියේ බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් එක් අයෙකු සිද්ධියෙන් පසු පලාගොස් තිබේ. බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත. ඔවුන් දෙදෙනා බීමත්ව සිටි බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය සැරයන්වරයාගේ මෘත දේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) දින පැවැත්වීමට නියමිතව තිබුණි. බුත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත අමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















