2025 වසරේ ආරම්භ කළ ‘වනස්පති’ වැඩසටහන යටතේ මේ දක්වා මෙරට වනාන්තර 81ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. එළැඹෙන ජුනි 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රක්ෂිත 5ක් ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඒ අනුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යනු ඇත.
අමාත්‍යවරයා විසින් අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ලබා දුන් තොරතුරු අනුව මෙම වැඩසටහනේ ප්‍රගතිය මෙසේය. 2025 වසරේදී වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එහි දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් ආවරණය විය. 2026 වසරේදී ජගත් වනාන්තර දිනයට සමගාමීව අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහි හෙක්ටයාර 12,989ක් අඩංගු විය.
පසුගිය අප්‍රේල් මාසයේදී නුගගහමුල යාය (මාතලේ) සහ පදිගම් පැලැල්ල (කෑගල්ල) යන වනාන්තර 2ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජුනි 5 දාට නියමිත නව රක්ෂිත පහ වන්නේ රිටිගල, අලියාවැටුණුවැව, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචි යන වනාන්තර වේ. ඒවායේ හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් තිබේ. රටේ ජෛව විවිධත්වය සහ පාරිසරික සංවේදී කලාප ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය
















