රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යාමේ අරමුණින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අද (01) ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම මිල වැඩි කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල සහ දේශීය වෙළඳපොළ මිල අතර පවතින පරතරය අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. මිල වැඩි කිරීමක් සිදු නොකළ හොත් ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය කඩා වැටීමේ අවදානමක් පවතින බවත්, රජය විසින් ඉන්ධන සඳහා දරන පිරිවැයෙන් යම් කොටසක් තෙල් සංස්ථාව ඇතුළු ආයතන දරමින් පාරිභෝගිකයාට සහනයක් සැලසීමට උත්සාහ කළ බවත් ඔහු පැවසීය.
මීට අමතරව, ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සහ රටින් පිටතට යන විදේශ විනිමය ප්‍රමාණය අවම කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය. එසේ නොකළහොත් ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු ඇඟවීය.
මේ අනුව, දැනට ක්‍රියාත්මක QR ක්‍රමවේදය ඉදිරියේදී වඩාත් දැඩිව සහ විධිමත් ලෙස ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
















