උපකුලපති ටෙරන්ස් මධුජිත් සිය මාධ්‍ය නිවේදනය මගින් ”සොරකම් කල ලිපියක් සම්බන්ධයෙන් මහාචාර්යවරයෙකුගේ වැඩ තහනම් කිරීම පිළිබද පුවත” යනුවෙන් දක්වා තිබෙන කරුණු සම්බන්ධයෙන් කරුණු කිහිපයක් කිව යුතුව තිබේ.
උපකුලපතිවරයාගේ මාධ්‍ය නිවේදනයටම අනුව මහාචාර්ය විමලසේන ඒ සම්බන්ධයෙන් පැවැති මූලික විමර්ශනයේදී අදාල චෝදනාව පිලිගෙන තිබෙන බව කියයි. අදාල පුද්ගලයා විසින්ම චෝදනාව පිලිගෙන ඇත්නම් ඉන් ඔබ්බට ඔප්පු වීමට තිබෙන්නේ මොනවාදැයි උපකුලපතිවරයාගෙන් ඇසීමට කැමැත්තෙමු.
මෙම චෝදනා පිලිගෙන තිබෙන්නේද රට පිලිගත් විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකු වන ආර්.බී.රණරාජා සහ විෂය පිලිබද ප‍්‍රාමාණිකයෙකු බව රට පිලිගන්නා මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යන ද්වී පුද්ගල කමිටුව ඉදිරියේදීය.
මහාචාර්ය විමලසේනගේ පිලිගැනීම හමුවේ අදාල විමර්ශනය වැඩිදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, නීතියට අනුව විනය බලධාරියාට දඩුවම් ලබාදීමේ හැකියාව පවතින බවත් අදාල කමිටුව නිර්දේශ කර තිබෙන බවත් බොරුවක්දැයි රටට කීමට උපකුලපතිවරයාට හැකිය.
උපකුලපතිවරයා සිය නිවේදනයේ කියා තිබෙන ”එහෙත් මෙම මාධ්‍ය ආයතනය අදාල මහාචාර්යවරයාගේ ගෞරවය හා කීර්තිය කෙලෙසන ආකාරයෙන් කටයුතු කරමින් සිටී.” යන කරුණ නම් සැහැල්ලූවෙන් සැලකීමට අපට හැකියාවක් නැත.
උපකුලපති මධුජිත්ගේ පිලිගැනීමට අනුව මහාචාර්ය විමලසේන සිය ගුරුවරයෙකු මෙන්ම රට පිලිගත් විද්වතෙකුද වූ (අභාවප‍්‍රාප්ත) මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනයන්ගේ බුද්ධිමය දේපල හොරකම් කිරීම වැරුද්දක් නොවේ.
වරද වන්නේ මාධ්‍ය ආයතනයක් විසින් එය ප‍්‍රසිද්ධියට පත්කිරීමය.
මධුජිත්ට අනුව අප සිදුකල යුතුව තිබුනේ සොරකම ජනතාවගෙන් සගවාගෙන සිටීමට අනුබල දීමය.
මියගිය තම ගුරුවරයාගේ බුද්ධිමය දේපල සොරා ගෙන ඒ බව විමර්ශන කමිටුවක් හමුවේ පිලිගෙන ඇති විට ඒ බව දැනගැනීමට අයිතියක් ජනතාවට ඇත.
අප පෙනී සිටින්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙනි.
එම කටයුත්ත ප‍්‍රමාණවත් පරිචයක් සහ ස්වයං පාලනයක් සහිතව කිරීමට අපට හැකිය. එම නිසා මාධ්‍ය කරන ආකාරය පිලිබදව අපට පේරාදෙණියේ උපකුලපති ටෙරන්ස් මධුජිත්ගෙන් උපදෙස් අනවශ්‍යය.
අවසන් වශයෙන් ”භාෂණයේ ප‍්‍රකාශනයේ සහ අදහස් පලකිරීමේ නිදහස” ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙසට පිලිගෙන සහතික කර තිබෙන බවද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබද පනත මගින් එය තවදුරටත් බලගන්වා තිබෙන බවද, මෙරට උපරිමාධිකරණ ද්විත්වය වන ශේ්‍්‍රෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් නඩු තීන්දු රාශියක් මගින් එම අයිතිය පිලිගෙන සහතික කර තිබෙන බවද, ඊට සීමා පැනවීමට පේරාදෙණිය උපකුලපතිට බලයක් නොමැති බවද කියා සිටීමට කැමැත්තෙමු.
නීතිමය ක‍්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර තිබෙන බව උපකුලපතිවරයා කියා ඇති බැවින් අධිකරණයේදී හෝ වෙනත් සුදුසු නෛතික අධිකාරියක් ඉදිරිපිටදී ඔහු හමුවීමට අපි මග බලා සිටින්නෙමු. එහිදී රාජ්‍ය ආයතනයක වගකිවයුතු නිලධාරියෙකු ලෙසට රාජකාරී වගකීම් පැහැර හැරීම සහ කරුණු සැගවීම සම්බන්ධයෙන්ද ප‍්‍රශ්න කිරීමට අපට අවස්ථාව ලැබෙනු ඇත.
















