ලොව පුරා යම් අවදානමක් මතු කර ඇති ඉබෝලා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට සහ එවැන්නක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය සියලු පෙර සූදානම් කටයුතු සිදුකර ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පවසයි.
අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිටත් අවශ්‍ය සැලසුම් සකස් කර පෙරහුරුවීම් පවා සිදුකර ඇති බවයි. ඉබෝලා ව්‍යාප්තිය වාර්තා වූ කොංගෝව සහ උගන්ඩාව වැනි රටවලින් පැමිණෙන පුද්ගලයන් පිළිබඳ විශේෂ නිරීක්ෂණ ක්‍රියාවලියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකය මඟින් මේ වනවිටත් ක්‍රියාත්මක කරයි.
සැකකටයුතු රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු හමු වුවහොත් වහාම එම තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දීමට පියවර ගෙන ඇත. එසේම, ඉබෝලා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් භාරගෙන ප්‍රතිකාර ලබා දීම සඳහා ජාතික බෝවන රෝග ආයතනය (IDH) විශේෂයෙන් සූදානම් කර තිබේ. සෞඛ්‍ය අංශ මෙලෙස දැඩි අවධානයෙන් පසුවන හෙයින්, ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත්, නිල සෞඛ්‍ය උපදෙස් පමණක් අනුගමනය කරන ලෙසත් බලධාරීන් පෙන්වා දෙයි.
















