දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වාර්තා වී ඇති රෝගීන්ගෙන් බහුතරය පාසල් සිසුන් බවත්, ඉන් බහුතරයක් වෛරස් ආසාදන හේතුවෙන් ඇති වූ මෙනින්ජයිටීස් තත්ත්වයන් බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කරයි.
පළමුව මාතර දෙණියාය ප්‍රදේශයෙන් අප්‍රේල් 15 වන දින මෙම රෝගී තත්ත්වය හඳුනාගත් අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින් ද රෝගීන් වාර්තා වී ඇත. ඊයේ (31) වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් වන අතර අනෙක් සියලු දෙනා සුවය ලබා නිවෙස් බලා ගොස් තිබේ.
උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර, මෙම වෛරස් මෙනින්ජයිටීස් තත්ත්වය බොහෝ විට දින කිහිපයක් ඇතුළත සුව වන බව විශේෂඥ වෛද්‍යවරිය පවසයි. අපිරිසිදු පානීය ජලය හරහා රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බැවින්, සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පමණක් පානය කරන ලෙසත්, පාසල් දරුවන් තම ආහාර එකිනෙකා අතර හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙයි. එසේම පානීය ජල මූලාශ්රවල පිරිසිදුභාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කමිටු පත් කර ඇති අතර, ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
















