කැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තරග සඳහා කැනේඩියානු කණ්ඩායමට අඛණ්ඩව ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු ක්‍රිකට් කමිටුව සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. කැනේඩියානු ගුවන්විදුලි සංස්ථාව විසින් අප්‍රේල් මාසයේ විකාශය කරන ලද වාර්තා චිත්‍රපටයකින්, ක්‍රිකට් කැනඩාවේ පාලනය තුළ ක්‍රීඩකයින් සහ නිලධාරීන් සම්බන්ධ දූෂණ චෝදනා මතු කර තිබුණි. එම චෝදනා අතර තරග හැසිරවීම සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජන ද ඇතුළත් වූ අතර, ඒ සම්බන්ධයෙන් දූෂණ විරෝධී විමර්ශනයක් කඩිනමින් ආරම්භ කරන ලෙස ඉල්ලීමක් ද සිදු කෙරිණි. කණ්ඩායම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් පාලිත යාන්ත්‍රණයක් හරහා ලබා දීමට නියමිත බව සඳහන් වේ. සාමාජිකත්වය නැවත ලබා ගැනීම සඳහා ක්‍රිකට් කැනඩාවට සිය පාලන සහ පරිපාලන ගැටළු නිරාකරණය කිරීම අරමුණු කරගත් කොන්දේසි මාලාවක් අනුගමනය කිරීමට සිදුවනු ඇත.
















