අද (ජූනි 01) දින සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු 5%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.ඩීසල් මිල රුපියල් 25කින් ඉහළ යාම, ලිහිසි තෙල් මිල සහ වාහන අමතර කොටස්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ආනයන සහ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්ධන ලබාගැනීමේදී පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ සනත් මංජුල මහතා, තමන්ට අවශ්‍ය ඉන්ධන කෝටාව (සතියකට ලීටර් 300ක්) ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති බවත්, ඉන්ධන පිරවුම්හල්වල පවතින විවිධ නීති සහ අක්‍රමිකතා හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ යෑමට පෙර පිරවුම්හල්වල ඉන්ධන නොමැති වීම සහ ඇතැම් ස්ථානවල අමතර මුදලක් අය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ඔහු අවධාරණය කළේය.
















