මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV), උපදංශය (Syphilis) සහ හෙපටයිටිස් – බී (Hepatitis B) වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා වන “ත්‍රිත්ව තුරන් කිරීමේ” (Triple Elimination) ජාතික වැඩසටහන ඊයේ (01) සිට දිවයිනේ සියලුම මාතෘ සායනවලදී නිල වශයෙන් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව, ඊයේ සිට දිවයිනේ ඕනෑම මාතෘ සායනයක ලියාපදිංචි වන සියලුම ගැබිණි මව්වරුන්ගේ රුධිරය, හෙපටයිටිස් – බී වෛරසය පවතීද යන්න සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම ආරම්භ කර ඇත.
මීට පෙර ශ්‍රී ලංකාවේ මවගෙන් දරුවාට HIV හා උපදංශය සම්ප්‍රේෂණය වැළැක්වීමේ ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, එම සම්ප්‍රේෂණය වැළැක්වූ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට හිමි විය. එම සාධනීය තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවද හිමිව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. එම සාර්ථකත්වය මත පදනම්ව, හෙපටයිටිස් – බී රෝගය පරීක්ෂා කිරීමද ඇතුළත් කර මෙම ත්‍රිත්ව තුරන් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කර ඇත.
















