2014 වසරේදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 2014 අප්‍රේල් මස 12 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසලදී මෙම ප්‍රකාශ සිදුකළ බවට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.
නඩු විභාගයේදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ, මීට වසර 12කට පමණ පෙර සිදු කළ මෙම ප්‍රකාශ අන්තවාදී කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් රටේ යහපත උදෙසා සිදු කළ ඒවා බවයි. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි. කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ මූලික කටයුතු ජුනි මස 26 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
















