2011 සහ 2012 වසරවලදී ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ජූනි මස 30 වන දින ප්‍රකාශයට පත් කිරීමට දින නියම විය. මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී දෙපාර්ශවයේම නීතිඥවරුන් අධිකරණ බලය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.
විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තර්ක කළේ, 2018 අංක 9 දරන අධිකරණ සංවිධාන සංශෝධන පනත යටතේ මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවා ඇත්තේ බැඳුම්කර ගනුදෙනුව සිදු වී වසර ගණනාවකට පසුව බැවින්, අතීතයට බලපාන පරිදි මෙම නඩුව විභාග කිරීමට බලයක් නොමැති බවයි. එසේම ත්‍රිපුද්ගල මහාධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් සාමාන්‍ය මහාධිකරණයකදී හිමිවන අභියාචනා කිරීමේ අයිතිය වැනි මූලික නෛතික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද විත්තිය පෙන්වා දුන්නේය.
ඊට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය ප්‍රකාරව අතීතයට බලපාන පරිදි නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට පවතින බවයි. මෙම සංශෝධනය මගින් සිදු වී ඇත්තේ නඩුව විභාග කරන ස්ථානය වෙනස් වීම පමණක් වන අතර, එය විත්තිකරුට අගතියක් වන හරයාත්මක වෙනසක් නොවන බවත්, විත්තිකරුට අභියාචනා කිරීමේ අවස්ථාව තවදුරටත් පවතින බවත් ඇය අවධාරණය කළාය. අධිකරණය විසින් දෙපාර්ශවයටම ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ලබා දී ඇති අතර, නඩුව ජූනි 30 වන දිනට යළි කැඳවීමට නියම කරන ලදී.
















