‘බුදු මඟ’ ධර්ම ග්‍රන්ථය ශාසනයට පූජා කිරීම පසුගිය 26 වන දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි. උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ග්‍රන්ථය ගංගාරාම විහාරස්ථානාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වෙත පූජා කිරීම මෙහිදී සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිනී ලක්මිනී රත්වත්ත වෙල්ගම මහත්මිය, කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා, සන්නාම අධ්‍යක්ෂිකා කරිශ්මා වෙල්ගම මෙනවිය සහ කර්තෘ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
පුරාණ විහාරස්ථානවල දක්නට ලැබෙන බිතු සිතුවම් 60කට අධික ප්‍රමාණයක් ඇතුළත් කරමින් සකසා ඇති මෙම ග්‍රන්ථය, සිතුවම් සහිත බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සහ බුද්ධ ධර්මය යන ප්‍රධාන පරිච්ඡේදවලින් සමන්විත වේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2570 සම්බුද්ධ තෙමඟුලට සමගාමීව එළිදක්වන ලද මෙය ‘බුදු මඟ’ ග්‍රන්ථයේ තෙවැනි මුද්‍රණය වන අතර, එහි ප්‍රථම මුද්‍රණය 1990 වසරේදී සිදු කර ඇත.
















