පළාත් සභා මැතිවරණය පැවැත්වීම වර්තමානයේ ගැටලුවක් වී ඇත්තේ කොට්ඨාස ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නද ඊට අදාළ කොට්ඨාස හඳුන්වා නොදීම නිසා බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පවතින තත්ත්වය තුළ මැතිවරණය පැවැත්විය නොහැකි බව මැනවින් දන්නා විපක්ෂය, ආණ්ඩුව මැතිවරණයට බිය බවට ව්‍යාජ මතයක් ගොඩනඟමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. පැරණි පළාත් සභා ක්‍රමය අහෝසි කර නව ක්‍රමයක් හඳුන්වා දීමේදී ඉතිරි වූ භාග ක්‍රමය සම්පූර්ණ කිරීමකින් තොරව මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, ඊට සාධාරණ කාලයක් අවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය කමිටු මේ වන විටත් පත් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
තවද, විපක්ෂය සිදු කළ වංචා, දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක වන බැවින් ඔවුන් කලබලයට පත්ව සිටින බවත්, නීතිය පොඩි මිනිහට පමණක් නොව සැමටම සමානව ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම ජාත්‍යන්තර ගැටලුවක් වුවද, එම බර සම්පූර්ණයෙන්ම ජනතාව මත නොපටවා රජය ද එහි කොටසක් දරා ගනිමින් එය කළමනාකරණය කරමින් සිටින බව හෙතෙම කියා සිටී. රටේ ජනතාව අසීරුතාවයෙන් ජීවත් වන බව වටහාගෙන සිටින රජය, පවතින බදු, භාණ්ඩ මිල සහ පොහොර ගැටලු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබා දෙන බවත්, බුද්ධිමත් ජනතාව එම තත්ත්වය තේරුම් ගෙන සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















