CCTV දර්ශන පදනම් කරගෙන රථවාහන දඩ මුදල් අය කරන බව පවසමින් රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත. වංචාකරුවන් විසින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් SMS හෝ WhatsApp හරහා මෙම ව්‍යාජ පණිවිඩ එවනු ලබන අතර, එමගින් රථවාහන වරදක් CCTV මගින් නිරීක්ෂණය වී ඇති බව පවසමින් ‘thecourierguy.eu.cc/lk
’ යන ව්‍යාජ වෙබ් අඩවියට පිවිසෙන ලෙස දැනුම් දෙයි.
රජයේ නිල ‘Gov Pay’ වෙබ් අඩවියට සමාන වන ලෙස සූක්ෂ්මව නිර්මාණය කර ඇති මෙම ව්‍යාජ වෙබ් අඩවිය මගින් රියදුරන්ගේ වාහන අංකය ඇතුළත් කළ පසු ව්‍යාජ දඩ මුදල් වාර්තාවක් පෙන්වයි. දඩ මුදල ගෙවීම සඳහා පරිශීලකයාගේ බැංකු කාඩ්පත් (Credit/Debit Card) තොරතුරු ලබාගෙන ඔවුන්ගේ ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම මෙම ජාවාරමේ අවසාන අරමුණයි.
මෙම වංචාවෙන් ආරක්ෂා වීම සඳහා SMS හෝ WhatsApp පණිවිඩ හරහා ලැබෙන සැකකටයුතු සබැඳි (Links) මත ක්ලික් කර පෞද්ගලික හෝ බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය අවධාරණය කරයි. රජයේ ගෙවීම් සඳහා භාවිතා කළ යුත්තේ ‘.gov.lk
‘ යන අග්‍රය (Domain suffix) සහිත නිල රාජ්‍ය වෙබ් අඩවි පමණක් බවත්, ශ්‍රී ලංකාවේ රථවාහන දඩ මුදල් හෝ නිවේදන කිසිවිටකත් විදේශීය දුරකථන අංක මගින් නොඑවන බැවින් එවැනි පණිවිඩ ලැබුණහොත් වහාම ප්‍රතික්ෂේප කළ යුතු බවත් අමාත්‍යාංශය දන්වා සිටියි. එසේම, බැංකු කාඩ්පතේ රහස් අංක (PIN), එක්වරක් පමණක් භාවිත කරන මුරපද (OTP) හෝ CVV අංකය කිසිදු බාහිර පාර්ශවයකට හෝ වෙබ් අඩවියකට ලබා නොදෙන ලෙසත්, රජයේ නිල ආයතන කිසිවිටකත් දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා මෙවැනි රහස්‍ය තොරතුරු ඉල්ලා නොසිටින බවත් සිහි තබා ගන්න.
















