මදුරන්කුලිය පුලිදිවායල් ක්‍රීඩාංගණයේ පැවති යතුරුපැදි තරගාවලියකින් පරාජය විඳදරා ගැනීමට නොහැකිව, තරගය සංවිධානය කළ පිරිසක් විසින් ජයග්‍රාහි කණ්ඩායමට පොලු මුගුරුවලින් පහර දීමක් සිදු කර ඇත. මෙම ප්‍රහාරයෙන් ජයග්‍රාහි කණ්ඩායමේ 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් 6 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
හජ්ජි උත්සවය වෙනුවෙන් පුලිදිවායල් ගම්මානයේ සංවිධානය කර තිබූ මෙම තරගාවලියේ යතුරුපැදි අංශයේ ජයග්‍රහණය විරුතෝඩේ තරුණයන් විසින් ලබා ගැනීමත් සමඟ සංවිධායක පිරිස කෝපයට පත්වී ඇත. තත්ත්වය තේරුම් ගත් විරුතෝඩේ කණ්ඩායම තමන්ට හිමි ජයග්‍රාහී කුසලාන සහ ත්‍යාග ප්‍රතික්ෂේප කර ක්‍රීඩාංගණයෙන් පිටව යන අතරතුර, සැඟවී සිටි පුලිදිවායල් සංවිධායකයන් සහ තරුණයන් 25කට වැඩි පිරිසක් ඔවුන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී ඇත. තම දරුවන් බේරා ගැනීමට මැදිහත් වූ විරුතෝඩේ ගම්මානයේ වැඩිහිටියන්ට ද මෙම පිරිස පහර දී තිබේ.
මෙම තරගාවලිය පොලිස් අවසරයකින් තොරව පවත්වා ඇති අතර, පහර දීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටිති. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















