සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සම්බන්ධයෙන් පවතින ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවේදී, ඇය සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නීතිවිරෝධී පසුබිම පිළිබඳව දැනුවත්ව සිටි බවට අධිකරණය විසින් ප්‍රබල නිරීක්ෂණයක් කර තිබේ.
මෙතෙක් තමා රැවටීමට ලක්වූ වින්දිතයෙකු ලෙස ජැක්ලින් ප්‍රකාශ කළ ද, ඇය සුකේෂ්ගේ අපරාධ පසුබිම පිළිබඳව දැනුවත්ව සිටිමින් ඔහුගෙන් වටිනා තෑගි ලබාගෙන ඇති බවට මූලික සාක්ෂි පවතින බව දිල්ලි පැටියාලා හවුස් අධිකරණයේ අතිරේක මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත් ශර්මා සඳහන් කළේය.
අපරාධවලින් උපයාගත් මුදල් භාවිතය වසන් කිරීම සඳහා ජැක්ලින් සුකේෂ් චන්ද්‍රශේඛර් සමඟ කුමන්ත්‍රණය කර ඇති බව අධිකරණය නිරීක්ෂණය කරයි. සුකේෂ්ගේ අපරාධ පසුබිම ගැන දැනුවත්ව සිටියදී පවා ඇය රුපියල් කෝටි 5.71ක් වටිනා තෑගි ලබාගෙන ඇත. මීට අමතරව, ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ විදේශීය බැංකු ගිණුම් හරහා විශාල මුදල් හුවමාරු සිදුවී ඇති බවට විමර්ශකයෝ චෝදනා කරති.
සුකේෂ් සම්බන්ධ නඩු රැසක් පිළිබඳ විස්තර ඇතුළත් පුවත්පත් වාර්තාවක් ඔහු විසින් ජැක්ලින් වෙත යවා තිබූ බව අධිකරණය නිරීක්ෂණය කර ඇත. සිය දෙමාපියන් වෙනුවෙන් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇය ලබාදුන් ප්‍රකාශයන්, ඇය මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියට හවුල් වී ඇති බවට සැක මතු කිරීමට ප්‍රමාණවත් බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට ප්‍රබල සාක්ෂි පවතින බව පවසමින්, නඩුවේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට අධිකරණය නියෝග කර ඇත.
















