මූලික අයිතිවාසිකම් කඩකිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ මහාචාර්ය කපිල පෙරේරා මහතා පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පසුබිමක, ඊට නොදෙවැනි සදාචාරාත්මක වගකීමක් භාරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ද වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතුද යන ප්‍රශ්නය විශ්වවිද්‍යාලීය ප්‍රජාව සහ මහජනතාව විසින් ජාතික ජන බලවේග රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටී.
මෙම දැඩි විවේචනයට හේතු වී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය තිලකරත්න නැමැත්තා, තමන් යටතේ සේවය කළ ආධුනික කථිකාචාර්යවරියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමින් සහ ඔහුව ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකට වැද්ද නොගත යුතු පුද්ගලයෙකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ආන්දෝලනාත්මක තීන්දුවක් ලබාදී තිබියදීත්, උපකුලපතිවරයා ඒ පිළිබඳව කිසිදු වගකීමක් ඉටු නොකිරීමයි. අදාළ ලිංගික අතවර චෝදනා ලත් මහාචාර්යවරයාට නිසි දඬුවම් ලබා නොදී, විවිධ උපක්‍රමශීලී හේතු දක්වමින් ඔහුට රටින් පලා යාමට අවශ්‍ය පසුබිම සකසා දුන් එවකට සිටි පාලක සභාවේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස වත්මන් උපකුලපති මහාචාර්ය මධුජිත් කටයුතු කර ඇති බවටද චෝදනා එල්ල වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සුවිශේෂී තීන්දුවෙන් පසුව හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව තමන් එදා ගත් වැරදි සහගත තීරණ සහ ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලයට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් ස්වයං විවේචනයක යෙදෙමින් කිසිදු පියවරක් නොගෙන තවමත් නිශ්ශබ්දව සිටීම, මෙරට ඉහළම අධිකරණයේ මතය පවා නොතකා හැරීමක් බව විශ්වවිද්‍යාලීය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ අතර, මහාචාර්ය විජය කුමාර් වැනි ජනබලවේග රජයේ හිතවාදී ප්‍රබලයන් මෙම බරපතළ වැරැද්ද වෙනුවෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය රටෙන් සහ ජනතාවගෙන් සමාව අයැදිය යුතු බවට හඬක් නැගුවද, උපකුලපතිවරයාගේ අවශ්‍යතාවය මත එම හඬවල් පවා යටපත් කර ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන්, සදාචාරාත්මක වගකීම භාරගනිමින් වත්මන් උපකුලපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශිෂ්‍ය ප්‍රජාව, ආචාර්යවරුන් සහ සමස්ත වැඩකරන ජනතාව රජයෙන් සෘජුවම ඉල්ලා සිටී.
















