රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි තායි එයාර් ඒශීයා සහ බතික් එයාර් ගුවන්යානාවලින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී සැකකරුවන්ගේ ගමන් මළු 22ක් පරීක්ෂා කිරීමේදී එම මළු තුළ සඟවා තිබූ දුම්වැටි 189,600ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්විය. මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි අසූහතර ලක්ෂ හතළිස් දහසක් (රු. 28,440,000) පමණ වන බව ගුවන් තොටුපොළ රේගුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 28ත් 45ත් අතර වයස්වල පසුවන ව්‍යාපාරිකයින් පිරිසක් බව හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් සිදුකරනු ලබයි.
















