පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බලධාරීන්ගේ අදූරදර්ශී සහ විචක්ෂණශීලී නොවන පරිපාලනමය තීරණ හේතුවෙන් නිෂ්කාර්ය ලෙස වැය කිරීමට සිදු වූ රුපියල් මිලියන 5.6කට අධික මහජන මුදල වහාම නැවත අයකර ගත යුතු බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) විසින් ලබාදී තිබූ නිශ්චිත නියෝගයක් එම බලධාරීන් විසින් වසර කිහිපයක සිටම පැහැර හරිමින් සිටින බව වාර්තා වේ.
සිද්ධියට අදාළ තොරතුරුවලට අනුව, 2015 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් කිසිදු විධිමත් විනය පරීක්ෂණයකින් තොරව සහ මූලික විරෝධතා නොසලකා හරිමින් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය අවසන් කිරීමට කටයුතු කර තිබුණි. මෙම අසාධාරණ තීරණයට එරෙහිව අදාළ නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අතර, 2021 වසර අවසානයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු වගඋත්තරකරුවන් විසින් එම නිලධාරියාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවයි. ඒ අනුව සේවය අවසන් කිරීමේ තීරණය ශුන්‍ය සහ බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුව අතීතයට බලපවත්වන පරිදි නැවත සේවයේ පිහිටුවීමට නියෝග කළ බැවින් විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 5.6කට අධික මුදලක් හිඟ වැටුප් හා දීමනා ලෙස ඔහු වෙත ගෙවීමට සිදු විය.
මෙම අනිසි ගෙවීම සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකළ විගණකාධිපතිවරයා, 2023 මාර්තු 16 දිනැති අංක CPC/KD/D/PU/2022/39 දරණ විශේෂ විගණන විමසුම මඟින් මෙය නිෂ්කාර්ය වැයක් ලෙස හඳුන්වමින්, අදාළ අදූරදර්ශී තීරණය ගත් පුද්ගලයන්ගෙන් මෙම මුදල නැවත අයකර ගැනීමට නිර්දේශ කළේය. පසුව 2023 මාර්තු 22 දින පැවැති පාර්ලිමේන්තු කෝප් කමිටු වාරයේදී ද මෙම මුදල අනිවාර්යයෙන්ම අයකර ගත යුතු බවට නියෝග කෙරුණු අතර, බලධාරීන් එසේ නොකළහොත් විගණකාධිපතිවරයා සතු සුවිශේෂී බලතල භාවිත කර හෝ මෙම මහජන මුදල් අයකර ගන්නා බව එවකට විගණකාධිපතිවරයා අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් එම මුදල් අයකර ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැත. එවකට සිටි විගණකාධිපතිවරයා විශ්‍රාම යාම, නිලධාරීන් මාරුවීම සහ ආණ්ඩු මාරුවීම් පලිහක් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල බලධාරීන් මෙම බරපතළ මූල්‍ය වංචාව යටගැසීමට කටයුතු කර ඇති බව පෙනී යයි. මෙම තත්ත්වය යටතේ, වහාම ක්‍රියාත්මක වී අදාළ මහජන මුදල් රජයට අයකර ගැනීම නව රජයේ කෝප් කමිටු සභාපතිවරයා, නව විගණකාධිපතිවරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මතක් කර සිටිති.
















