ශ්‍රී ලංකාවේ තෝරාගත් නගර ආදර්ශ නගර ලෙස ප්‍රතිසංවර්ධනය කිරීම සහ නගර සන්නාමකරණය (City Branding) හරහා සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් රුපියල් මිලියන 1,475ක මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරය, කතරගම, කොළඹ සහ මහනුවර යන නගරවල අනන්‍යතාව සහ උරුමයන් ඉස්මතු වන පරිදි සංවර්ධනය කෙරේ. නගර සන්නාමකරණයේ මූලික අධ්‍යයන කටයුතු සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 325ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, ඒ සඳහා සුදුසු උපදේශක සේවා ආයතනයක් මගින් පූර්ව අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතය.
මීට අමතරව, දත්ත මත පදනම් වූ නාගරික සංවර්ධන වැඩසටහනක් යටතේ යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගරවල හඳුනාගත් ව්‍යාපෘති 217ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම නගර සංවර්ධන කටයුතු සඳහා නගර සන්නාමකරණ ව්‍යාපෘතියෙන් ඉතිරි වූ රුපියල් මිලියන 975ක් සහ හැටන් හා මාතලේ නගර සඳහා වෙන් කළ රුපියල් මිලියන 500ක් ඇතුළුව සම්පූර්ණ රුපියල් මිලියන 1,475ක ප්‍රතිපාදනයක් භාවිත කිරීමට නියමිතය.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, නාගරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාගත සහ විධිමත් සංවර්ධනයක් ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
















